වාර්ෂික අධ්‍යාපන චාරිකාව-2018page-3

පළමු දිනය - අප්‍රේල් 2

මෙම වාර්ෂික චාරිකාව මෙවර යොදාගෙන තිබුණේ අප්‍රේල් මස 2,3.4 යන තෙදිනටයි. පෙර සිටම සිසු හිමිවරුන් මීට ලහි ලහියේ සූදානම් වන අයුරු දැක ගත හැකි විය.

අප්‍රේල් 2 වන දිනඅළුයම 2.00 සිට එදිනට අවශ්‍ය දහවල් ආහාරය පිළියෙල කිරීම්වල ගුරු , සිසු හිමිවරුන් යෙදුනි.

ඉන් අවසානයේ ප.ව.4.00 ට පමණ පිරිවෙනෙන් පිටත්විය.

හිමිදිරියේ ගමනට සූදානම් වෙමින්

හදිසි සෝදිසියක්

අනතුරුව ගාළු නගරය පසුකර දෙවට මංසන්ධියෙන් ඇතුල්වී අධිවේගී මාර්ගය ඔස්සේ මාතර ට පැමිණියෙමු.

ඉන් අනතුරුව හක්මණ පාරේ කඹුරුපිටිය හරහා කෙටි මං ඔස්සේ අපි ඉදිරියට ගමන් කරන්නට වීමු. අතරමග දී බස් රථයේ රෝදයේ කටුවක් ඇනීම නිසා පසුපස රෝදයේ එකවරම හුළං බසින්නට විය. කරකියා ගත නොහී රියදුරු තැන ටයරය මාරු කර ගැනීම සඳහා සෙමෙන් රථය විංකලයක් කරා ගෙනයන්නට විය.රථයට අමතර රෝදයක් නොතිබූ බැවිනුත්,හුළං ගොස් ඇත්තේ ඇතුළත ටයරයේ ටියුබයේ බැවිනුත් ගමනෙන් විශාල කාලයක් ඒ සඳහා මිඩංගු විය.උදෑසන තේ පානය සඳහා එම කාලය යොදා ගත්තෙමු.

අනතුරුව යළිත් ගමන ආරම්භ කළෙමු.

ඉන්පසු දිවා ආහාරය ගැනීමට බුත්තල උනාවටුන රජමහා විහාරයට ගියෙමු. එතෙක් කිසිම ස්ථානයක් නැරඹීමට නොහැකි වුනා.එදා සඳුදාවක් බැවින් , ඒ වනවිටත් පිරිවෙණ පැවැත්වෙමින් තිබුනා. බොහොම උනන්දුවෙන් ඒ පිරිවෙනේ පරිවේණාධිපති හාමුදුරුවෝ අපේ ස්වාමින්වහන්සේලාට දානය සඳහා අවශ්‍ය ඉඩකඩ සළසා දුන්හ.
ඉන් පසුව නැවතත් චාරිකාව ආරම්භ කළහ.

මෙහිදී කිවයුතුම කාරණයක් අමතක වුණා. ඒ තමයි ගමනට ලොකුම හයියක් උන ගරුතර කෘත්‍යාධිකාරි පූජ්‍ය හබරකඩ සෝරත හාමුදුරුවනුත් මෙයට සහභාගි වුන බව. ඒ හාමුදුරුවො පන්සල ගාව ගෙදරක තව පුතෙකුත් චාරිකාවට අරගෙන ඇවිත් තිබුනා . චාරිකාවෙ ඒකාකාරී බව නැතිවෙන්න එයත් හේතුවුණා .

ඊ ළඟට අපි ගියේ යුදගනාවේ පිහිටි චෛත්‍යය බලන්න. එය අඩක් නිම කළ, එසේත් නැතිනම් බාගෙට ඉදිවූ චෛත්‍යයක්. එහි ඉහළ මාළයට නගින්නට අපේ පො ඩි හාාමුදුරුවන්ට තිබු‍ණේ ලොකු ඕනකමක්. පරෙස්සමෙන් නගින්න උදව් කළේ එහි ස්ථාන භාර පාලකතුමා.

උඩට නැග්ගට පස්සෙ මෙම චෛත්‍යෙයේ පුරාවෘත්තය කියල දුන්නේ අපේ ඉතිහාසය භාර ගුරුතුමා වන ලලිත් සර්.ඊට පස්සෙ අපි ගියේ මාළිගාවිල බුදු පිළිමය බලන්න. ඒත් එක්කම ඇති බෝසත් පිළිමයත් බලන්න ගියා.

ඒකට කියන්නෙ දඹේගොඩ බෝසත් පිළිමය කියලා. ඒකට ටිකක් කඳු නගින්න ඕන, පඩිපෙල් ගණනාවකින්. මෑතකදී ඒකට පිළිමඝරයකුත් හදලා. ඒකටත් නමස්කාර කරලා අපි ආපහු එන්න හැරුණා.

ඊ ළඟට අපි පිටත් වුණේ රාවණා ඇල්ල බලන්න යන්න.අපේ ඩ්‍රයිවර් මහත්තයා වට වංගු ගණනාවක් අපිව අරං ගියා ඇල්ලට යනකං.අපේ පොඩි හිමිවරුණුත් සීට් වලින් දෙපැත්තට පැද්දි පැද්දී ගියා විනෝදයෙන්.

කෘත්‍යාධිකාරී ස්වාමින්වහන්සේ බොහොම සද්දෙන් කිව්වා , “දැං ළඟයි දිය ඇල්ලට“ කියලා... පොඩිහාමුදුරුවෝ සේරමලා කෑගහන්න ගත්තා “නාන්න ඕන , නාන්න ඕන“ කියලා.
එතකොට තමයි ගුරුමණ්ඩලේ අය දන්නෙ නාන්න කැමති පොඩිහාමුදුරුවරු ටිකක් තමයි ඇවිල්ලා ඉන්නෙ කියලා.
ඒත් දියඇල්ලෙන් නෑම තහනම් කියලා ගුරුවරුනුත්,කෘත්‍යාධිකාරී හිමියනුත් දැනුම් දුන්නා..

කවුරු කවුරුත් ඇල්ල අවට ඒ මනස්කාන්ත දර්ශනය දැක්කාම වශී වුණා. විදේශිකයන්ටත් ඒක එහෙම තමයි. නාන්න නැතිවීම කණගාටුදායක තමයි. ඒත් සිසුන්ගෙ ආරක්ෂාවත් බලන්න එපැයි.

විනාඩි 15 කට පස්සෙ අපි එතනින් පිටවුණා . අද රෑ නවාතැන් ගන්න තැනට යන්න තමයි දැං බලාපොරොත්තුව.

ඒ එරබැද්ද විවේකාශ්‍රමය විහාරස්ථානයට. එය පිහිටලා තියෙන්නේ කැප්පෙටිපොළ නගරයේ.එහේ පහසුකම් හොඳයි. බිම නිදා ගත්තත් පෙරවන්න බ්ලැන්කට් රෙදි තිබුණා. සීතල එච්චරම නැහැ. කට්ටියටම නාගන්නත් වතුරත් තිබුණා.
පසුදා අළුයම 3.00 ට පමණ කට්ටියම නැගිටලා එදා දහවල් කෑම උයා ගත්තා. උදේ කෑම එහිදීම ගත්තා.

ඊළඟට අපි බලන්න ගියේ දෙමෝදර දුම්රිය පොළ.

දෙවන දිනය - අප්‍රේල් 3

ඊළඟට අපි බලන්න ගියේ දෙමෝදර දුම්රිය පොළ. දෙමෝදර දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ ඇල්ල හා දෙමෝදර අතරය.

“දෙමෝදර පාළම“ කියලා සටන් ජවනිකා තියෙන චිත්‍රපටියකුත් තිබුණා. ඒක සෑහෙන්න ජනප්‍රිය වුණා. තවත් එකක්, මුහුදු මට්ටමින් උසින් වැඩිම දුම්රිය පොළත් මේක.

බැලුවහම නම් ඒක තවත් දුම්රිය පොළක් විතරයි. ඒත් දුම්රියපල නිර්මාණයේ දී අතීතයේ වෙච්ච මහන්සිය ගැනයි සොයන්න ඕන. ලෝක යුධ සමයේ යකඩ හිඟවූ බැවින් ආරුක්කු 9 ක් සහිතව ගලින් පාළම ඉදිකරන ලදි. දුම්රියපල තනා ගෙන එද්දී එකවරම උස කන්දකට යන විදිහටයි කඳු පිහිටලා තිබුණේ.

දැං විශාල උභතෝකෝටිකයකට මුහුණ පෑවා ඉංජිනේරුවෝ. එකල අද වගේ ලොකු පහසුකම් තිබුනෙ නැහැ. මේ අතර සේවකයෙක් ඔහුගේ හිසේ ජටාව බුරුල්වූ නිසාවෙන් එය ලිහා නැවතත් තදකර බැඳගනු ලැබුවා. එය දුටු ඉංජිනේරුවා එම (loop) ක්‍රමයට පාළම මතින් එන දුම්රිය කඳු ගැටය තුලින් බිම් ගෙය හරහා යන ලෙසට දුම්රිය මාර්ගය සැකසුවා. . මේ මිහිර ළමා පුවත්පතේ කතාව

මේ වීඩියොව බැලුවහම කතා ව තවත් පැහැදිලි වේවි.

මේ මාර්ග සිතියමින් ඇල්ල දුම්රිය පොළ සෑදුනු විදිහ තවත් පැහැදිලි කරගත හැකි වෙිවි.දෙවන දිනයේ ගමන් මාර්ගය

දුම්රිය පොළේ ඉදිරිපස පෙනුම

ලස්සන කතාව මේකයි, තනිකර ගලෙන් පාළම සෑදීමත් ලංකාවෙ අප්පුහාමි නැමති පෙදරේරුවෙක්ගෙ නිර්මාණයක්.ආරුක්කු 9යට බර බෙදී යන සේ එසේ ඉදි කළත් , සුදු ඉංජිනේරු මහත්වරු එය මතින් දුම්රියක් ධාවනය කරන්න තරම් එඩිතර වුනේ නැහැ. අවසානයේදී එම පාළම යට ඔහු හාන්සිවී සිටින විට දුම්රිය ධාවනය කරන ලෙසට ඉල්ලා සිටියා. ඔහු වරක් එසේ කර පෙන්වූ පසු පාළමේ ශක්තිය ගැන ඔවුන් පැහැදුනා.

අනතුරුව , දවල් කෑමට ආපහු එරබැද්ද විවේකාශ්‍රමයට ආවා. ඉන් පසුව නැවතත් චාරිකාව පටන් ගත්තා.

ඊළඟට අපි ගියේ හග්ගල උද්භිද උද්‍යානය නැරඹීමටයි.

අපට ෆො ටෝ වලින් අඩුවක් උනේ නැත්තෙ පොඩි හාමුදුරුවො කෙනෙක් selfy stick එකක් තෙක්ක කැමරා ෆෝන් එකක් ගෙනැල්ලා තිබුණු නිසා .

වෙන අවස්ථාවන්ට වඩා ශිෂ්‍ය හිමිවරුන් බොහොම සතුටින් ඉන්න බවක් තමයි හග්ගල උද්‍යානයේදී පෙන්නුම් කරේ. ඒකට හේතුවන්න ඇත්තේ අනෙක් ස්ථානවල පාළු ස්වභාවයක් ගත්තත් , උද්‍යානය නැරඹීමට විශාල සෙනග පැමිණි නිසාවෙන් විය යුතුයි.ඒ අතර උසස් පෙළ හදාරන බාළිකා පාසලකුත් ඇවිල්ලා හිටියා..

හග්ගල උද්භිද උද්‍යානය නරඹලා ඊට පස්සෙ ගියේ අඹේවෙල කිරි නිෂ්පාදනාගාරය හා කිරි පට්ටි රසායනාගාරය නැරඹීමටයි.

එහෙත් හරක්ට කුර හා මුඛ රෝගය පැතිරී යෑම නිසා කිරි පට්ටි රසායනාගාරය වසා දමා තිබුණා. එහෙයින් අපිට සිදුවුනේ කිරි නිෂ්පාදනාගාරය පමණක් නැරඹීමටයි. තවත් අලකලංචියක් උනා. එහි ඇතුලට කැමරා ෆෝන් වැනි දෑ ගෙන යන්න තහනම් වුනා. ඒකෙන් උනේ පිංතූර අඩුවීමයි.

එක ඇතුලෙදි ඒ මහත්තුරු දියර කිරිවල ඉඳලා කිරිපිටි වලට හරවන තෙක් සිදු කරන කාර්‍යයන් කෙටියෙන් විස්තර කර දුන්නා.

ඊට පස්සෙ රාත්‍රී නවාතැනට එන්න පිටත් වුණා. ඒක නුවරඑළි නගරයේ ම තියෙන විශාල විශ්‍රාම ශාලාවක් සහිත පන්සලක්.

ඊට කලින් ගුරුවරු නුවරඑළියෙ එළවළු මාර්කට් එකට ගිහිල්ලා , එදා රෑට උයන්න අවශ්‍ය කළමනා ටික ගත්තා.

ඒවත් අරන් තමයි විශ්‍රාම ශාලාවට ආවෙ. අපරාදෙ කියන්න බෑ සීතල වතුර ඕන තරම් තිබුනා. ශිෂ්‍ය හිමිවරුන්ට නාන්න කළබලයක් නම් නෑ. අවට පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක 14 යි.

ගිහිල්ලා මිනිත්තු 15 ක් ඇතුලත තේ වලට ලිප ලෑස්ති කරලා , ගුරුවරු රෑ කෑම පිළියෙල කරන්න ගත්තා ඉහළ පන්තිවල ශිෂ්‍යයනුත් හවුල් කරගෙන. රෑ නිදාගන්න ගියාම එච්චර පහසු වුනේ නෑ. සීතල අධික නිසා කවුරු කවුරුත් අඩනින්දෙ වගේ තමයි එළිවෙනකම් හිටියෙ.

පාන්දර 2.30 වෙනකොට අපිව නැගිට්ටුවා මනෝජ් සර් තේ බොන්න. බීලා එදා පාන්දරටයි , දවල්ටයි කෑම හදාගන්න සූදානම් උනා.. සීතල නම් කියලා වැඩක් නෑ.. කොහොම හරි බතක් උයාගෙන එළවළු 3ක් 4ක් හදාගෙන 3වෙනි දවසට සූදානම් උනා.

පුළුවන් අය උදේ නාගත්තා..සමහරු මූණ හෝදගෙන විතරක් ෂේප් උනා..තවත් කට්ටිය සූර්‍ය වන්දනාවට සූදානම් උනා..හීතල දරා ගන්න බෑ.. වැඩිදෙනෙක්ට ස්වීටර් නැහැ.. හිරු එළිය පොළවට වැටෙන කොට හැමෝටම ආසයි.

අව්ව වැටෙන කොට නං නුවරඑළිය ඉන්න ආසයි. ඒත් රෑට නුවරඑළිය මහ අපායක් වගෙ. කොහොම කොහොම හරි එළිකරගෙන දැං තුන් වෙනි දවසට චාරිකාව ආරම්භ කළා..

තුන්වන දිනය - අප්‍රේල් 4

උදේ කෑම ගත්තට පස්සෙ විශ්‍රාම ශාලාවට ආයුබෝවන් කියලා පිටවුනා. ඒත් අපි කවුරුවත් දන්නේ නෑ මීළඟට යන්නෙ කොහේද කියලා. ඒක දැනගන්න කවුරුවත් උනන්දු උනෙත් නෑ. ඒවා දන්නෙ නායක හාමුදුරුවෝ.

උදේ 8.00 ට විතර නුවරඑළියෙ ටවුමෙ කඩගානෙ ඇවිද්දා. පොඩි හාමුදුරුවරුන්ට සෙල්ලම් බඩු ගන්න. ඒවා ගෙදර ගිහිල්ලා නංගිලාට,මල්ලිලාට දෙන්න. අම්මලාට,තාත්තලාට රස කැවිළි , පළතුරු ගන්න, නගරය පුරාම ඇවිද්දා. ගුරු හාමුදුරුවරුනුත් ඇවිද්දා. ඊට පස්සේ නැවතත් චාරිකාව පටන් ගත්තා.

පළමුව ගියේ ඇඩ්මන්ස් ගේ ස්ට්‍රෝබෙරි ජූස් ෆැක්ටරිය ට. නෙලා ගත් විගස ස්ට්‍රෝබෙරි ජූස් බීමට හැකිය. ජෑම් , කොඩියල් ද විකිණීමට තබා තිබුණි. එහෙත් ඒවයේ මිළ ගණන් ඉහල විය.

ස්ට්‍රෝබෙරි පාත්ති වටේ ඇවිදලා බැලුවා. සෙවකයෙක් ඒවාට සාත්තු කරමින් හිටියා.. එයා ඉදුනු ගෙඩි එකතු කරගත්තා.

සමහර විට එයා පාත්ති පිරිසිඳු කරලා පොහොරත් යොදනවා ඇති. සත්තුන්ගෙන් ඒ පැල ආරක්ෂා කරගන්නත් එයාටම පැවරිලා ඇති.

ආපු නිසා ඒකත් බලලා ආපහු ගමනට එකතු වුණා. ඊ ළඟට යන්න බලාපොරොත්තු වුනේ මහවැලි මහ සෑය නරඹන්න.ඒකට යන පාර බිංගෙයක් හරහා වැටිලා තිබුණේ.ඒක අපූරු අත්දැකීමක් වුණා පොඩි හාමුදුරුවන්ට.

ඒක පහු කරලා යනකොට කොත්මලේ ජලාශය දැක ගන්න පුඵවන් උනා.. කොහොම උනත් ජලාශෙ වතුර අඩුයි. ඒ කොත්මලේට තදින් පායන කාලයක් නිසා.,

කොහොමින් කොහොම හරි තවත් දුරු කතර ගෙවාගෙන මහවැළි මහ සෑය ළඟටත් ආවා..

කොත්මලේ ජලාශය සිඳී ගොස් ඇති අයුරු

එතනට ආවාහම බොහොම ශාන්තිදායක බවක් දැනුනා..චෛත්‍යය ඇතුළත තවත් කුඩා චෛතයයක් පිහිටලා තිබුණා. හරියට කැළණි වෙහෙර වගේ. කතා කරන හඬ දොංකාර දෙනවා.

වන්දනා කරන්නන් අපි විතරයි. තදින් හිරු එළිය පායලා තිබුණු නිසා චෛත්‍යය තුල හොඳ ආලෝකයක් කිබුණා. හැමෝම නිහඬ බව රකින්න උත්සාහ කළා.

ඒකෙන් අනතුරුව ආපසු එන්න ආවෙ දහවල් දානය සඳහා තැනක් තෝරා ගත යුතුව තිබුණු නිසයි.ගම්පොල නගරයේ පිහිටි පන්සලක්. ඒතැන සාලියාල පුරාණ මහ විහාරය ලෙස හඳුන්වනු ලබනවා..දකුණු ආසියාවේ විශාලම සැතපෙන පිළිමය මෙහි ඉදිකර තිබීම විශේෂත්වයකි.

දිගින් අඩි 132 පමණ වෙනවා. කෙසේවුවත් එය නරඹන්නට එවෙලේ පැමිණ සිටියේ අපි විතරයි.දිවා ආහාරය ගත් පසු එහි අවට සිරිනැරඹීමට අපට හැකි වුනා.

ඉන් අනතුරුව අපි ගියේ ගඩලාදෙණි‍ යේ ඇම්බැක්කේ දේවාලයටයි.

3 වෙනි දින ගමන් මග

එහි වහලෙ උළු යි, පොළවෙ ගඩොලුයි හැරුණම , අනික්වා සියල්ලම කරලා තියෙන්නේ ලී කැටයෙමෙන්. එහිදීත් පුරුදු විදිහට ඉතිහාස කරුණු ව්ස්තර කළේ ලලිත් සර්.

ඇත්තටම ලී කැටයම් මගින් ඉදි කළ සියුම් නිර්මාණ දිහා බැලුවම , පුදුම ඉවසීමක් වගේම දැඩි කැපවීමක් ඉන් පෙන්නුම් කරනවා. රූපවල යොදාගෙන ඇති සත්ත්වයන් සැබෑ ලොකයේ දක්නට නොලැබෙන එවුන් වීම සොයා බැලිය යුතු කරුණක්. කැටයම්කරුවාගේ මනසේ මැවෙන කුමක් හෝ චිත්‍රයට නැගුවා දැයි සැක සිතේ. චිත්‍ර අතර අංගම්පොර අල්ලන දෙදෙනෙක් , පළිහක් අතින් ගත් සොල්දාදුවෙක් වගේම නාරි රූපත් මේ අතරින් විශේෂයි.

තවත් අපූරු දෙයක් උනා. ඒ තමයි කොහේදෝ ඉඳලා වයසක සීයා කෙනෙක් අපි ගාවට කඩාපාත් උනා. ඇවිල්ලා ඇම්බැක්කේ දේවාලය ගැන පුරාවෘත්තයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන්නට උනා. කොහොම නමුත් ඒ දේශනයට බොහොම සාවධානව ඇහුම් කන් දුන්නා අපේ පොඩි හාමුදුරුවරු.ඊළඟට අපි ගියේ ඊට ආසන්නයෙම තියෙන පුරාණ විහාරයක් වන ඓතිහාසික ගඩලාදෙණිය විහාරයට. එයත් ගල් තලාවක් මත ඉදිකළ විහාරයක්.

ඒ වන විටත් එහි සංරක්ෂණ කටයුතු සිදුවෙමින් තිබුණා.

තවත් අපූරු දෙයක් වුණා. ඒ තමයි විහාරය නරඹන්න ආපු ජර්මන් යුවළක් අපේ පොඩි හාමුදුරුවන් එක්ක කුළුපග වෙච්ච එක. පොඩි අයව දැක්කම ගිහි අයගෙ අනුකම්පාව , දයාව ඉස්මතු වෙන එක ලෝක ස්වභාවයනෙ.

ඒ අයත් එක්ක එකට ඉඳගෙන ෆොටෝත් ගත්තා.

ඉන් අනතුරුව නුවර ගොස් දළඳා වැඳීමට සිතා හිටි නමුත්, කාල වේලාව මඳ බැවින් නුවර - කොළඹ මාර්ගය ඔස්සේ ආපසු එන්නට හැරුනා. කඩුගන්නාව හරහා සන්ධ්‍යා සමයේ පල්ලම් බසින විට අවට මග දෙපස අපූරු දසුන් මැවුනා. නායක හාමුදුරුවන්ගෙ ඉල්ලීම පිට තේ පානය සඳහා මෙන්ම තෑගි බෝග ගැනීමට කඩුගන්නාවෙ බසය නතර කළා.

ඉන් අනතුරුව කඩවත දක්වා පැමිණ , පසුව දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට පැමිණියහ. මග දිගට පටන් ගත්ත වැස්ස එක දිගටම ගාල්ල දක්වාම තිබුණා. ගාල්ලෙන් බහිනකොට වේලාව රෑ 8 විතර වෙලා.

සිසුන්ගෙත් , ගුරුවරුන්ගෙත් අප්‍රමාණ කැපවීම මත තවත් චාරිකාවක් ලස්සනට නිමා කළා. ඒ සඳහා සහය දුන් සැමට තුති!